ශ්‍රවනාබාධ පිලිබඳ සමාජයේ අඩු අවබෝධයක් ඇත්තේ ඇයි?

ශ්‍රවනාබාධයක් යනු පිටතට පෙනෙන ආබාධයක් නොවෙයි. එය බොහෝ විට හඳුනාගන්නේ ශ්‍රවනාබාධය ඇති පුද්ගලයා නොව ඔහු හෝ ඇය සමඟ කතා බහ කරන පුද්ගලයන්. මුල් අවස්ථාවේදී මෙවැනි ආබාධයක් ඇති බව පිළිගැනීමට මැලිකමක් දැක්වීම නිසා බොහෝ දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු වන්නේ අතිශයින් ප්‍රමාදවයි. ශ්‍රවනාබාධයක් ඇති කෙනෙකු ඒ සඳහා උනන්දු නොවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ එමඟින් ඇතිවන අපහසුතාව දැනෙන්නේ තමන්ට නොව අන් අයට බව තේරුම් නොගැනීමයි. ශ්‍රවණය දුර්වල වූ කෙනෙකු සමඟ කතා කරන අයට ඒ සඳහා විශේෂ වෙහෙසක් දැරීමට සිදු වෙනවා. මේ ලක්ෂණය මඟින් ශ්‍රවනාබාධ අනෙකුත් ආබාධ වලින් වෙනස් වෙනවා. වෙනත් බොහෝ ආබාධ මඟින් වැඩි අපහසුතාව ඇති වන්නේ එම ආබාධයට ලක් වූ තැනැත්තායි. ශ්‍රවනාබාධ වලදී සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි.

ශ්‍රවනාබාධ පිලිබඳ ලොව පුරා සංඛ්‍යා දත්ත මඟින් පෙන්නුම් කරන තත්වයක් නම් විශාල පිරිසකට ශ්‍රවනාබාධ ඇති නමුත් ප්‍රතිකාර ලබා ගන්නා සංඛ්‍යාව සීමිත බවයි. මේ සඳහාද ඉහත අප දැක්වූ හේතුව බලපාන බව සැලකිය හැකියි. වෙනත් කාරනාද බලපාන බව සත්‍යයක්.

මේ නිසා ශ්‍රවනාබාධ සඳහා ප්‍රතිකාර වෙත යොමු වීමට පෙර ශ්‍රවනාබාධය ඇති පුද්ගලයා සහ පවුලේ අනෙකුත් අය අතර ශ්‍රවනාබාධයක් ඇති බව ට එකඟතාවක් තිබීම වැදගත්. එසේ නැතිනම් ශ්‍රවනාබාධය ට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් වන රෝගියාගේ සහයෝගය නොලැබීමෙන් එය අසාර්ථක වන ප්‍රවනතාව වැඩියි.

ශ්‍රවනාබාධයක් නිසා ඇති විය හැකි දීර්ඝකාලීන අතුරු ප්‍රතිඵල වලින් මිදීමට මේ කාරණය පිළිබඳ සමාජය දැනුවත් වීම අත්‍යවශ්‍ය බැවින් ඔබට හැකි අයුරින් මේ පණිවිඩය බෙදා හරින්න. එය සමාජ සංවර්ධනය සඳහා වන සාමුහික ප්‍රයත්නයක ඔබේ දායකත්වය වනු ඇත.


Featured Posts